"සම්බාහන මධ්‍යස්ථානවලට එන ගොඩක්ම පිරිමි ලෙඩ්ඩු.."
ටයි කෝට් ඇදන් එන ලොකු මහත්වරු සම්බාහන
මධ්‍යස්ථාන ඇතුළේ දාන අමුතු සෙල්ලම් ගැන හෙළිදරව්වක් මෙන්න
එහෙම අයට තරවටු කරන්න වේවැල් කෝටුවකුත් අපි තියාගෙන ඉන්නේ..
අපිව නිර්වස්ත්‍ර කරලා කාමරයේ ඇවිද්දවලා බලාගෙන ඉන්නවා..
මානසික ලෙඩ්ඩු ආවම යහමින් මුදලක් කපා ගන්න පුළුවන්..
Loading...
රටක් ආරාජිකත්වයට පත්වන විට එරටේ සමාජ අපචාර, දුරාචාර සහ නීති විරෝධී ගනුදෙනු සිදුවීම අරුමයක් නොවේ. කාලයක සිට මෙරට ද ආර්ථික සහ සමාජයීය වශයෙන් දැවැන්ත පරිහානියකට ලක් වෙමින් තිබේ.
මහ මග ප්‍රසිද්ධියේ මරා ගන්නා තරමට රට තුළ පාතාල ක්‍රියාකාරකම්
වර්ධනය වී තිබේ. මහ බැංකු කොල්ලකෑමේ සිට ගමේ සණස සමිතිවලත් සිදුවන මුදල් වංචා නිරන්තරයෙන් වාර්තා වේ.
ඒ අල්ලපනල්ලේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ගණිකා ජාවාරම ද සීග්‍රයෙන් වැඩිවෙමින් තිබෙන බව වාර්තා වේ. SPA හෙවත් සම්බාහන මධ්‍යස්ථාන බෝඩ් ලෑල්ලට මුවා වී කරගෙන යන ගණිකා ජාවාරම ද මුළු රටේම වසංගතයක් සේ පැතිර යන බව රහසක් නොවේ.
මේ වන විට මෙරට සම්බාහන බෝඞ් ලෑල්ලක්, ස්පා කඩයක් නැති නගරයක් නැති තරම්ය. එහෙත් අප මේ කතා කරන්නේ විවිධ රෝගාබාධවලට ප්‍රතිකාර ලබාදීම සඳහා පවත්වාගෙන යන නීත්‍යානුකූල සම්බාහන මධ්‍යස්ථාන ගැන නොවේ. සම්බාහන බෝඞ් ලෑල්ලට මුවා වී පවත්වාගෙන යන ගණිකා මඩම් ගැනය.
මෙම වර්ෂයේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ දූෂණ මර්දන ඒකකය මගින් පමණක් ‘සම්බාහන කඩ’ පනහකට වැඩි සංඛ්‍යාවක් වැටලීම් සිදුකොට සැකකරුවන් දෙසීයකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
නියෝජ්‍ය පොලිස්පති මහේෂ් වැලිකන්ද මහතාගේ අධීක්‍ෂණය මත කොළඹ උතුර දිසා දූෂණ මර්දන ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප්‍රසාද් රත්නායක මහතාගේ මෙහෙයවීම යටතේ දිසා අපරාධ කොට්ඨාස අධ්‍යක්‍ෂ මහේෂ් බණ්ඩාර සහ දිසා අපරාධ කොට්ඨාස ස්ථානාධිපති දහනායක යන මහත්වරුන් විසින් පරීක්‍ෂණ සිදුකරනු ලැබූ ඒ කිසිදු සම්බාහන මධ්‍යස්ථානයකට බලපත්‍ර තිබී නැති බව ද පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා විය.
එමෙන්ම එසේ වටලන ලද ඇතැම් ගණිකා නිවාස පවත්වාගෙන ගොස් ඇත්තේ ආයුර්වේද දැන්වීම් පුවරුවට වහං වී ගෙනය. තවත් ගණිකා නිවාස රූපලාවන්‍යාගාර ලෙස පවත්වාගෙන ගොස් ඇත.
මේ සියලූ සම්බාහන මධ්‍යස්ථාන තුළ ගේට්ටුවේ සිට අයකැමියා දක්වා සීසීටීවී කැමරා සවිකර, ආයුර්වේද වෛද්‍යවරයෙක් කියාගත් පුද්ගලයෙක් සහ කළමනාකරුවෙක් සිටි බවද, රූපලාවන්‍යාගාරවල කළමනාකාරිණියක් සිටි බව ද වාර්තා වේ. පෑලියගොඩ, මිනුවන්ගොඩ, වැලිසර, නිට්ටඹුව, කොච්චිකඬේ, මීගමුව, බියගම, සපුගස්කන්ද, කිරිබත්ගොඩ, කඩවත, වත්තල, සීදුව, ජාඇල, පස්යාල යන ප්‍රදේශවල සිදුකරනු ලැබූ වැටලීම්වලදී අත්අඩංගුවට පත් පිරිස අතර, ගණිකා සේවයේ යෙදී සිටි කාන්තාවන්, සම්බාහන මධ්‍යස්ථාන කළමනාකරුවන් සහ කළමනාකාරිනියන් ද සිටිති. ඔවුන් බහුතරය වයස අවුරුදු තිහට අඩු කාන්තාවන්ය. එමෙන්ම ඈත එපිට
ගම්මානවල පදිංචිකාරිණියන්ය. ත්‍රිකුණාමලය, මඩකලපුව, අනුරාධපුරය, පොළොන්නරුව, නුවරඑළිය, මහනුවර, ඇඹිලිපිටිය, රත්නපුරය, අවිස්සාවේල්ල, යටියන්තොට, සහ ගාල්ල යන ප්‍රදේශවල පදිංචි කාන්තාවන්ය.
ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන මේ ලඳුන් කිසිලෙසකින් හෝ නිවරැදි කරගැනීමට නොහැකි තරමට මුල වරද්ද ගත් කාන්තාවන්ය. එහෙත් ජීවත්වීමට සරණක් නැති අසරණ කාන්තාවන් සම්බාහන කුටිය තුළදී පිරිමින්ගේ පාප කඳට යට වන්නේ අකැමැත්තෙන් නොවේ. සිය කැමැත්තෙනි. යහමින් මුදල් හම්බ කිරීමේ පරමාර්ථයෙනි.
ගමෙන් නගරයේ සම්බහාන මධ්‍යස්ථානවල රස්සාවට පැමිණෙන සීතා, රමණි, පුෂ්පාගේ නම් ටීනා, සප්නා, විහඟි ලෙසට ‘මොඩ්’ කරනු ලබන්නේ සම්බාහන මධ්‍යස්ථානයේ අයිතිකරු හෝ කළමනාකාරිත්වය විසිනි. මල් වැටුණු චීත්ත ගවුම ගලවා විසිකර එම කාන්තාවන්ට කෙටි කලිසම, හිරට හිරේ මස් ඉළිප්පෙන ‘ජින්ස්’ සහ බඩ පේන කොට ටීෂර්ට් අන්දවන්නේ ද සම්බාහන මධ්‍යස්ථානයේ පාලනාධිකාරිය විසිනි.
එමෙන්ම ගැමි පුසුඹ විහිදුවන නාඹර කාන්තාවන් ප්‍රථමයෙන් ‘ඉඳුල්’ කරනු ලබන්නේ ද සම්බාහන මධ්‍යස්ථානයේ අයිතිකරු සහ කළමනාකරුය. දවසක් දෙකක් වරින් වරින් ‘තෙරපි’ කරන එම කාන්තාවන් අනතුරුව යාළු හිතමිත්‍රාදීන්ගේ සන්තර්පනය උදෙසා ද ලබාදීමට ඔවුහු අමතක නොකරති.
අතින් අතට ගොස් සල්ලාලයන්ගේ පාප කඳට සිරවී පරවුණු එම කාන්තාවන්ගේ වතමඬල ‘එම්බාම්’ කොට ‘සම්බාහිකාවක්’ ලෙස සම්බාහන කුටියකට ගාල් කරනු ලබන්නේ සම්බාහනය ගැන කෙටි පුහුණුවක් ද ලබාදෙමිනි.
එසේ සම්බාහිකාවන් වන කාන්තාවන්ට බොහෝ සම්බාහන මධ්‍යස්ථානවලින් වැටුප් ගෙවීමක් සිදු නොකරති. සම්බාහන මධ්‍යස්ථානයේ ‘ස්ටෑන්ඩර්ඞ්’ එක අනුව රුපියල් දාහක්, එක්දහස් පන්සීයක් ඊට වැඩි මුදලක් අයකැමියාට ගෙවා සම්බාහනය සඳහා කුටියට පැමිණෙන ගනුදෙනුකරුවන් ‘මායම්’ කොට සන්තෝසම් මුදල වැඩි කරගෙන මඩිය තරකර ගැනීමට එම කාන්තාවන් දක්‍ෂ විය යුතුය.
එමෙන්ම ගනුදෙනුකරුවන් ඉදිරියේ තම ශරීර කූඩුව නිර්වස්ත්‍ර කිරීමට විලි බිය නැති කරගත යුතුය. මොනර කොළවලින් පිරෙන හිර සාක්කු පිම්බී එන්නේ ගනුදෙනුකරුවන් සතුටු කරන ප්‍රමාණයේ තරමටය.
"ගාමන්ට් එකක මාසේම කඹුරලත් රුපියල් විසිදාහක් අතට ගන්න බැරි වුණා. දැන් මම එක දවසට රුපියල් පහළොස්දාහක්, විසිදාහක් අතර මුදලක් උපයනවා. මම මේ ජොබ් එක පටන්ගෙන අවුරුදු හතරයි. හොඳට කාලා බීලා, ලස්සනට ඇඳලා පළඳලා, දරුව ඉල්ලන ඕනෑම දෙයක් අරගෙන දීලා අම්මා තාත්තටත් සලකගෙන බැංකු පොතෙත් රුපියල් ලක්‍ෂ අටහමාරක් ඉතුරු කරගෙන තියෙනවා. මේ ජොබ් එකේ තියෙන එකම අවුල කොච්චර හම්බ කළත් හිතට සතුටක් නෑ.."
"විනාඩි ගානකට අපි පිරිමියෙක් එක්ක එකට ඉන්නෙ ආදරයටවත්, ආශාවටවත් නෙමෙයි, අපේ අගහිඟකම් පිරිමහ ගන්න වැඩියෙන් සල්ලි ටිකක් හම්බ කරගන්න. සමහර වෙලාවට මට මා ගැන අප්පිරියා හිතෙනවා. ඒත් ඉතිං මොනව කරන්නද දරුවො දෙන්නට කන්න අඳින්න දෙන්න අප්පා හිටියා නම් මම මේ විදිහට උමතු පිරිමි මිරිකන්න එන්නෙ නෑ. මේ මට උරුම රස්සාව. හම රැළි ගැහිලා ඇඟ එල්ල වැටෙන්න ඉස්සර වෙලා මැරෙනකම් ජීවත් වෙන්න සල්ලි ටිකක් හම්බ කරගන්න ඕනෑ..,"
ඒ කතා කළේ මීගමුව ඒත්තුකාල වෙරළට සමීපයේ සම්බාහන මධ්‍යස්ථානයක සිට අත්අඩංගුවට පත් කාන්තාවකි. වයස අවුරුදු විසි තුනක රූබර කාන්තාවකි. දුටුවන් වසඟට පත්කරවන හැඩකාර නාරී දේහයකට උරුමකම් කියන ඇය එක් දරු මවකි. පොළොන්නරුවේ ඈත එපිට ගමක පදිංචිකාරිණියක් වුවද, පෙනුම සහ විලාසිතා කොළඹ කුරුඳුවත්තේ කාන්තාවක් සේය.
වයස අවුරුදු දහ හතේදී ආදරය මල් ඵලගෙන දරුවකු ලැබුණු පසු සැමියා, ඇය අතහැර වෙනත් තුරුලකට ගොස් ඇත. දරුවා තම මවට භාර දී අසරණ වූ ඇය කොළඹට පැමිණ ඇත්තේ කටුනායක වෙළෙඳ කලාපයේ ඇඟලූම් කර්මාන්ත ශාලාවක සේවයටය.
කටුනායක මජර සමාජයේ පදම් වන විට ඇය ඇඟලූම් කම්හලේ සේවය කරන අතරේ ‘පාට් ටයිම්’ සම්බාහන මධ්‍යස්ථානයක රැකියාවට සම්බන්ධ වී ඇත්තේ බෝඩිමේ යෙහෙළියකගේ පෙරැත්ත කිරීමටය.
යහමින් ලැබෙන මුදලට කෑදර වූ ඇය ‘ගාමන්ට්’ රස්සාව අතහැර තෙරපි වෘත්තීය කරගැනීමට මැලි වී නැත. අන්තිමේ තෙරපි කණපිට හැරී සම්බාහන කුටියක් තුළ වල්මත් පිරිමින් සමඟ ‘හයිරන්‘ ඇල්ලීමට ද විලි බිය නැති කරගෙන ඇත්තේ මුදලට ඇති තණ්හාවටය.
"අපේ අම්මා තාත්තා, ඥාතීන් හිතාගෙන ඉන්නෙ අපි කොළඹ හොඳ ජොබ් කරනවා කියලා. ගෙවල්වලට කියලා තියෙන්නෙත් එහෙමයි. පොලිසියට මාට්ටු වෙලා ටී.වී.වල ෆොටෝ එක ගිහින් ගමේ කවුරුහරි දැකලා තිබුණොත් තමයි අපේ පැටිකිරිය හෙළි වෙන්නේ. අපේ කෙල්ලන්ට එහෙම වෙලා සමහර අය දරුවන්වත් කොළඹ ගෙනත් නර්සරිවලට දාගෙන උගන්නගෙන ඉන්නවා. ගම පැත්ත පළාතකට යන්නෙ නෑ. කොහොමද ගමට මුහුණ දෙන්නෙ. මේක වනචර ජොබ් එකක්..."
"අපි මේ රස්සාව කරන්නෙ තෘප්තියෙන් නෙමෙයි. දුක්විඳින්න බැරිකමට. සම්බාහන මධ්‍යස්ථානයක පිරිමියෙක් මිරිකුවත් එකයි. පිරිමියෙක් එක්ක නිදාගත්තත් එකයි. අපි සම්බාහන මධ්‍යස්ථානයෙන් එළියට එනකොට කොහොමත් ගණිකාවක්. අනෙ අපි එහෙම නෑ... අපි කරන්නෙ සම්බාහනය විතරය කියන්නෙ සෝබනේට. විලිලැජ්ජාව වසාගන්න. එහෙම නැතිව පිරිමියෙක්ව අත පත ගානකොට ගෑනිව මිරිකන්නෙ නැතිව ඉන්න පිරිමි බොහෝම අඩුයි..."
"ඒ වගේම සම්බාහන මධ්‍යස්ථානවලට එන ගොඩක්ම පිරිමි ලෙඩ්ඩු. ඒ අයට තියෙන්නෙ අමුතු රෝග. සමහරක් අය දුක කියනවා. අපි දුක් මූඩ් එකෙන් ඒ කතා අහගෙන ඉන්න ඕනෑ. තව සමහර අය බාගෙට අපිව නිර්වස්ත්‍ර කරලා කාමරයේ ඇවිද්දවලා බලාගෙන ඉන්නවා. තව පිරිසක් ඒ අය නිර්වස්ත්‍ර වෙලා අපිට කෝටුවලින්, අතින් පයින් ගහන්න කියලා ඇඳ වටේ දුවනවා. එහෙම අයට තරවටු කරන්න වේවැල් කෝටුවකුත් අපි තියාගෙන ඉන්නේ. එක, එක ජාතියේ පිස්සො. ඒ වගේ මානසික ලෙඩ්ඩු ආවහම අපිට හිරිහැරයක් නැතිව යහමින් මුදලක් කපා ගන්න පුළුවන්..."
"එහෙම එන සමහර පිරිමි ලෝස් නැතිව පන්දාහේ කොළයක් දාලා යනවා. ගුලි කාලා, පෙති ගහලා එන අයගෙන් තමයි බේරීමක් නැත්තේ. උන් අපිට දෙන මුදලට වඩා දහ පහළොස් ගුණයකින් අපිව මහන්සි කරනවා. ඒත් ඉතිං කරන්න දෙයක් නෑ. ඉවසගෙන ඉන්න ඕනෑ.."
වත්තල ටීනා වක්කඩේ කැඩුවා සේ එසේ කියාගෙන ගියාය. අවුරුදු පහළොවකට වැඩි කාලයක සිට සම්බාහිකාවක් ලෙස සම්බාහන මධ්‍යස්ථාන රැසක සේවය කර ඇති ටීනාට දැන් වයස අවුරුදු තිස් හතකි. නුවර ගමක පදිංචි ඇය දෙදරු මවකි. සැමියා අතහැර ගිය සන්දියේ සිට මේ රැකියාවේ නියුතු ඇය කිහිප විටක්ම පොලිසියට ද කොටු වී ඇත. එහෙත් ඇය රැකියාව අතහැර නැත.
සම්බාහන මධ්‍යස්ථානයක ගණිකා වෘත්තියේ යෙදී සිටියදී අත්අඩංගුවට පත්වන කාන්තාවන්ට අධිකරණය නියම කරන දඩය රුපියල් දෙදහකට, තුන්දාහකට වැඩි නොවන බව වාර්තා වේ. සම්බාහන මධ්‍යස්ථාන අයිතිකරුවකුට හෝ කළමනාකරුවකුට ද නියම කරන දඩය උපරිම පනස්දහසක් බව ද වාර්තා වේ. ඒ දඩ මුදල ඔවුන්ට ‘කජ්ජක්’ තරම්ය.
පොලිස් අත්අඩංගුවට පත්වීමේදී ඔවුන්ට ඇති එකම බය බන්ධනාගාරගත වීමට සිදුවීම සහ ඡායාරූප ගෙන මාධ්‍යයට මුදාහැරීමේ බිය පමණක් බව ද සම්බාහිකාවන් කිහිප දෙනෙක්ම අප සමඟ පැවසූහ. එමෙන්ම බොහෝ සම්බාහන මධ්‍යස්ථාන දැන් පැය විසිහතර පුරාම විවෘතව තිබෙන බැවින් දවසක ආදායම වැඩි වී ඇති බවද ඔවුහු අපට පැවසූහ.
සාමාන්‍යයෙන් ආයුර්වේද වෙළෙඳසැලක් හෝ රාත්‍රියට විවෘතව නැත. එහෙත් තේ කඩ ගානට දැන් රාත්‍රියට සම්බාහන මධ්‍යස්ථාන විවෘතව තිබෙන බව සැබෑය. සම්බාහිකාවන් ලැගුම්ගෙන සිටින්නේ ද සේවය කරන සම්බාහන මධ්‍යස්ථානය ආසන්නයේම කුලී කාමරයකය. එහෙයින් ළෙන්ගතු සහ ආදරණීය ගනුදෙනුකරුවන් තම කාමරයට ගෙන්වා ගැනීමට ද සම්බාහිකාවෝ මැලි නොවෙති.
එමෙන්ම සම්බාහන මධ්‍යස්ථානවල අනිවාර්යයෙන්ම ලිංගික ශ්‍රමය විකිණීම සිදුවන බව සම්බාහිකාවන්ම කියන්නේ නම් මේ ගණිකා කඩවලට එරෙහිව රටේ නීතිය අකුරටම ක්‍රියාත්මක විය යුතුය. එහෙත් එවැන්නක් සිදු නොවේ. ප්‍රසිද්ධියේ දැන්වීම් ප්‍රදර්ශනය කරමින් සම්බාහන මධ්‍යස්ථානවල පුරප්පාඩු සපුරා ගනී. හතු පිපෙන ගානට නගර මැද සහ ඒ අවට තට්ටු ගොඩනැඟිලිවල සම්බාහන කඩ විවෘත වේ. එම තට්ටු ගොඩනැඟිලිවලට අන්තිකාරම් මුදලට අමතරව අවුරුද්දක, දෙකක මාසික ගාස්තුව ද එක වර ගෙවීම ද විශේෂත්වයකි.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ දූෂණ මර්දන ඒකකයට අයත් පොලිස් කොට්ඨාස තුනේ ‘සම්බාහන ගණිකා කඩ’ වැටලූණාට කොළඹ අනෙක් ප්‍රදේශවලදී පොලිසියේ ද උදව් ඇතිව සම්බහාන මධ්‍යස්ථාන කරගෙන යන බව රහසක් නොවේ.
එමෙන්ම සැමියා හැර යෑමත් සමඟ අසරණ වන කාන්තාවන් ජීවත්වීම උදෙසා සම්බාහන ගණිකා කඩවලට පැමිණියා කියන කතාව නිදහසට කාරණයක් නොවේ. තම අසරණ දරු පවුල ජීවත් කරවීමට කළු ගල් තලන අම්මලා මේ රටේ සිටිති. ස්වීප් ටිකට්, බුලත් විට විකුණා ජීවත් වන කාන්තාවන් සිටිති. ඒ කාන්තාවන් තම පතිවත ආරක්‍ෂා කරගෙන සමාජයට ද පිළලයක් නොවී ගෞරවනීය ලෙස ජීවත් වෙති.
සම්බාහන කඩවල උන්මත්තක පිරිමින්ගේ සුරතලියක් වන කාන්තාවන් දැන හෝ නොදැන සමාජයට කරන විනාශය අති විශාලය. ඔවුන්ට පොළොව පලාගෙන මියැදෙන්නට සිතෙන්නේ දිනක තමන්ගේම පුතෙක් සම්බාහනය වීමට තම කුටියට පැමිණි දිනකය. එමෙන්ම මේ සම්බාහන ගණිකා කඩ රට පුරා වැඩිවීමෙන් පසක් වන්නේ අප ජීවත් වන සමාජයේ උමතුවේ තරමය.
තරංග රත්නවීර
දිවයින